Pages

Saturday, July 2, 2011

Jayalath Bandara: The Story of Disable Death Row Inmate

    

මම ජයලත් බණ්ඩාර. ඉපදුණේ 1977 නොවැම්බර් 11. අපේ ගෙවල් තිබුණේ වැල්ලවායේ ඇතිලිවැව. දැන් පදිංචිය මිහිපිට තියෙන නරකම තැනට මීටර කිහිපයක් දුරින්. මම දැන් මෙතනට ඇවිත් අවුරුදු ගණනාවක් ගත වෙලා ගිහිං.
ඒත් මම මෙහාට ආවේ ඇයි? ඒ කොහොමද? මේ ගැන තියෙන්නේ වාව ගන්න බැරි විමතියක් විතරයි.
එදා 1994 ජනවාරි 02 ඉරිදා. නිවාඩුව අදින් ඉවරයි. හෙට ඉස්කෝලේ පටන් ගන්නවා. ඇතිලිවැව කනිෂ්ඨ විද්‍යාලයේ 10 වසරේ මුල් ම පංතියට යන්නයි ලැහැස්ති වෙලා හිටියේ’ උදේ තාත්තයි අයියලා දෙන්නයි කුඹුරට ගියා. පොඩි උදැල්ලක් කරේ තියා ගෙන මාත් ඒ පස්සෙන් ගියා. මේක අපි අවුරුදු ගණනාවක් අඳේට වැඩ කරපු කුඹුර. එදි යත්දි උස මහත මිනිහෙක් අපේ කුඹුරේ වැඩ කරමින් හිටියා. ඒ මනුස්සයගේ නම නන්දසිරි. ගමේ චණ්ඩියෙක්.
”අදින් පස්සේ උඹලට මේ කුඹුර කරන්න දෙන්නේ නෑ” – කියලා නන්දසිරි කිව්වා.
ඒ කතාවට තාත්තයි අයියලා දෙන්නයි පැටළුණා. දරුණුවට බැණ අඬ ගහ ගත්තා. අපේ ලොකු අයියා (චන්දරත්න බණ්ඩාර) කැත්තකින් නන්දසිරිට කෙටුවා. ඒ මනුස්සය ලේ පෙරාගෙන කුඹුරට වැටුණා. ලොකු අයියා ආපහු පාරවල් කිහිපයක් ගහනවා මම දැක්කා. ඒ සිද්ධියෙන් පස්සේ මම ගෙදරටම දුව ගෙන ආවා. තාත්තයි අයියලා දෙන්නයි කොහේ ගියාද දන්නේ නෑ. පැය දෙක තුනකින් දැන ගන්න ලැබුණා නන්දසිරි මැරිලා කියලා. ඒ ගමන ලොකු අයියා කැත්තත් අරගෙන ගිහිං පොලීසියට බාර වුණා.
ඒ වුණාට පොලීසියෙන් ඇවිත් තාත්තවයි - පොඩි අයියයි දෙන්නත් අරගෙන ගියා. තුන් දෙනාම රිමාන්ඩ් කළා. ඔය අතරේ අම්මා මාව ගෙදරින් පිටමං කළා. මම මහියංගණේ අක්කලාගේ ගෙදර ගියා. සති දෙකකට විතර පස්සේ ගෙදර ඇවිත් ආපහු ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ඒ වෙත්දී මට වයස අවුරුදු 14 යි. මාස දෙකක් විතර ගතවෙලා ගියා. එක දවසක් පොලීසියෙන් ඉස්කෝලෙට ඇවිත් මාව අරගෙන යන්න හැදුවා. ඒ වෙලාවේ ගුරුවරු ඒකට විරුද්ධ වෙලා මාව දෙන්න බැහැ කියලා තදින් කිව්වා. පොලීසිය හැරිලා ගියා.
ඒත් 1994 මාර්තු මාසේ පොලීසිය ගෙදරට ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා. උසාවියේදී විනිශ්චයකාරතුමා පුදුම වුණා. අවුරුදු 14 ක බාල වයස්කාරයෙක් නිසා මාව රිමාන්ඩ් කරන්න බැහැ කියලා එතුමා කිව්වා. නමුත් පොලීසිය තදින් ම කිව්වා මං මේ මිනීමැරුමට සම්බන්ධයි කියලා. ඒ සැරේ එක දවසකට රැඳවුම්බාරයට පත් කරලා රුපියල් 2000 ක ඇපයක් මත මාව මුදා හරින්න නියෝග කළා. පොලීසියට ගිහිං කට උත්තරයක් දෙන්න කියලත් නියම කෙරුණා.
අපේ අම්මා පොලීසිය දැක්කගමන් වෙවුලනවා. මාත් ඊට ඉස්සර පොලීසියකට ගිහිං නෑ. පොලීසියට ගිය වෙලාවේ මගෙන් ප්‍රශ්න කිහිපයක් අහලා සැර දැම්මා. පොලීසියේ මහත්තයෙක් පොතක දිග සටහනක් ලිව්වා. ඒක කියවන්න වත් බලන්න වත් දුන්නේ නෑ. අස්සන් කරපං කියලා බල කළා. මම අම්ම ගේ මුහුණ දිහා බැලුවා. ඒ සැරේ පොලීසියේ මහත්තයා අම්මටත් බැන්නා. මම ඒකට අස්සන් කරලා ගෙදර ආවා. ආපහු ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ඒත් වෙනදා වගේ නෙවෙයි. ගුරුවරු ළමයි එහෙම මගේ දිහා බැලුවේ කැලෑ සතෙක් දිහා බලනවා වගේ. හිතේ එකලාසයක් නෑ. හරියට කෑමක් බීමක් ගෙදර තිබුණෙත් නෑ. අපේ ගෙදරට මහා ශාපයක් පල දුන්නා වගේ.
ජයලත් තරුණ වියේ
තවත් මාස ගණනාවකට පස්සේ තාත්තයි අයියලා දෙන්නයි ඇප පිට ගෙදර ආවා. තාත්තා හැමදාම බොන්න පටන් ගත්තා. ගෙදර ප්‍රශ්න එන්න එන්න කඳු ගැහෙන්න ගත්තා.
ඔය අතරේ ලොකු අයියා කොළඹ කොම්පැණියක රස්සාවකට ගියා. ගෙදරට තිබුණ එකම ආදායම් මාර්ගය ඒක විතරයි. මම ඉස්කෝලේ ගමන නතර කරලා වඩු වැඩ ඉගෙන ගන්න පටන් ගත්තා. ඔය අතරේ වඩු පංතියේ හිටිය යාළුවෙක් එක්ක දවසක් එයාල ගේ ගෙදර ගියා.
”කුරුම්බා කඩාගෙන බොමුද?” කියලා යාළුවා ඇහුවා. මම ගහට නැග්ගා. ගහ මුදුනේදී පොල්පිතිවල එල්ලිලා කුරුම්බා ගෙඩියක් කඩන්න ගෙඩිය කැරකුවා. පොල්පිති එක්කම මාව ගහ මුදුනේ ඉඳන් බිම වැටුණා. මට සිහිය ආවට පස්සෙයි දැන ගත්තේ මගේ තුනටියෙන් පහළ කොටස පණ නෑ කියලා. මේ සිද්ධිය වුණේ 1996 දී. එදා ඉඳන් කවදාවත් මං ඇවිද්දේ නෑ. මාව නඩු දිනයට උසාවියට අරගෙන ගියේ දෙන්නෙක් දෙපැත්තකින් උස්සාගෙන ඒ නිසා මට උසාවියට යන්න ඉඩක් ලැබුණෙ ම නෑ. ඇඳක වැතිරිලා මුළු කාලෙම බෙහෙත් බැඳගෙනයි හිටියේ...”
මේ කතාව අපට කියන ජයලත් බණ්ඩාර තවදුරටත් පවසන පරිදි; නිසි ප්‍රතිකාර ලබා ගත්තේ නම් ඔහුට සුවය ලැබීමට ඉඩ කඩ තිබුණේලු. එහෙත් අනපේක්ෂිත ලෙස තෙවරක්ම ඒ අවස්ථා අහිමි වී යන්නේ ආර්ථික දුෂ්කරතා නිසා වරින් වර ප්‍රතිකාර නතර කරන්නට සිදු වීමෙනි.
”හොරිවිල වෙද මහත්තයා තමයි අන්තිමට මාව බාර ගත්තේ. අමාරුව හොඳ කරන්න පුළුවන් කියලා වෙද මහත්තයා කිව්වා. කාලයක් නතර වෙලා ප්‍රතිකාර ගත්තා. ඒ අතර තමයි නඩු තීන්දුව ලැබුණේ. අන්තිමට මට නතර වෙන්න සිද්ධ වුණේ හිර ගෙදර.”
2002 ජූලි 27 ජයලත් ගේ පවුලේ සියලු දෙනාට ම අමතක නොවන දවසකි. ගම්පහ ප්‍රදේශයේ ඇළ මාර්ගයක නාඳුනන පුද්ගලයකු ගේ මළ සිරුරක් පාවෙමින් තිබියදී සොයා ගැනිණ. මරණය සිදු වී තිබුණේ අමානුෂික ලෙස පහර දීමෙන් සහ ගෙල සිර කිරීමෙනි. ඒ පුවත්පත් වාර්තාව ජයලත්ට කියවීමට ලැබී තිබිණ. එහෙත් ඒ ප්‍රවෘත්තිය තම පවුලට අදාළ වේයැයි ඔහු කිසිවිටෙක සිතුවේ නැත.
ජයලත් පාසල් සමයේ
”මාසේ පඩිය අරගෙන අයියයි තව යාළුවෝ දෙන්නෙකුයි ගම්පහ පැත්තේ ගමනක් ගිහිං තියෙනවා. අයිය ගේ පඩි සල්ලි මංකොල්ල කෑව යාළුවෝ දෙන්නා එයාව මරලා ඇළට දාලා කියලා දැන ගන්න ලැබුණා. ඒ මැරුණේ ලොකු අයියා (චන්ද්‍රරත්න බණ්ඩාර) මේ සිද්ධියෙන් පස්සේ අපිට කරකියා ගන්න කිසිම දෙයක් නැතිව ගියා. ඒත් අයියා රස්සාව කරපු කොම්පැණියේ මහත්වරු අපිට උදවු කළා. මට රෝද පුටුවක් අරගෙන දීලා බෙහෙත් කරන්නත් ඒ අය ඉදිරිපත් වුණා. ඒත් අසනීපේ හොඳ කරන්න කලින් නඩුවේ තීන්දුව ලැබුණා. මීට කලින් අවස්ථා තුනකදීත් ප්‍රතිකා නතර කරන්න සිද්ධ වුණා. එක දිගට ඒ බෙහෙත් හේත් කළා නම් මාව සනීප කරන්න පුළුවන් කියලා වෙද මහත්වරු කිව්වා...”
නියමිත පරිදි නඩු දිනවලදී අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වීම නිසා ඔහුට තවත් අවාසියක් සිදු විය. එනම් ජයලත් බණ්ඩාර නැතිව නඩු විභාගය පවත්වා ගෙන යෑමට තීරණය වීමය.
”... ඒ සිද්ධිය වුණේ 1998 පෙබරවාරි මාසෙදී. මේ නඩුවේදී වැරදිකාරයද? නිවැරදිකාරයද? කියන ප්‍රශ්නයටවත් පිළිතුරක් දෙන්න මට ඉඩක් ලැබුණේ නෑ. මොකද නඩුව විභාග කෙරුණේ මම උසාවිය ඉදිරියේ පෙනී නොසිටින විත්තිකාරයෙක් හැටියට සලකලයි. හැබැයි ඉතිං ඒක මගේත් කැමැත්තෙන් වුණ තීරණයක්.
අපේ නඩුව විභාග කෙරුණේ බදුල්ල මහාධිකරණයේ. තීන්දුව දෙන්න සති දෙක තුනකට කලින් හිතා ගන්න බැරි දෙයක් වුණා. අපි වෙනුවෙන් පෙනී හිටිය නීතිඥයා නඩුවෙන් ඉවත් වුණා. 2003.10.14 දා තීන්දුව දුන්නා. අපි හතර දෙනාම වැරදිකාරයෝ හැටියට එල්ලා මරන්න තීන්දු කෙරුණා. මේ තීන්දුවත් එක්කම මම, පොඩි අයියා (ධර්ම කීර්ති බණ්ඩාර) තාත්තා, අංක 35 කියන ෂෙල් එකට දැම්මා. අපි ඇපෑලක් ඉදිරිපත් කළා. නමුත් 2007 මාර්තු 16 දා අභියාචනාධිකරණයෙනුත් ඒ තීන්දුවම අනුමත කෙරුණා.
මේ සිද්ධියත් එක්කම අම්ම ගේ ඔළුවේ නහරයක් පිපිරිලා සති ගණනක් සිහි නැතුව ඉඳලා අන්තිමට අම්මා මැරුණා. ගත වුණේ මාස දෙකයි හිර ගෙදරදී තාත්තා ඇදගෙන වැටුණා. ආපහු නැගිට්ටේ නෑ. තාත්තත් නැති වුණා. අන්තිමට ඉතුරු වුණේ මමයි පොඩි අයියයි විතරයි.
අද පොඩි අයියා වැලිකඩ මරණ දඬුවම නියම වුණ ෂෙල් එකක ඉන්නවා. මම බෝගම්බර හිර ගෙදර මරණ දඬුවම නියම වුණ ෂෙල් එකක ඉන්නවා.”
ජයලත් බණ්ඩාර ගේ කතාව තවමත් අවසාන නැත.
මව සහ ඥාති සොහොයුරියෝ
අපේ ලොකු අයිය ගේ අතින් අපරාධයක් වුණා. වරදට දඬුවමක් තියෙන්න ඕනේ. එයාගෙත් ජීවිතේ නැති වුණා. නමුත් මේ සිද්ධිය වෙත්දී මට අවුරුදු 14 යි. මම නිර්දෝෂයි කියලා ලෝකෙට ඇහෙන්න කෑගහලා කිව්වත් වැඩක් නැති බව මම දන්නවා. නමුත් මට පොලීසියේදී වගේම උසාවියේදීත් නීතිඥ සහාය හරියට ලැබුණේ නෑ. අනිත් පැත්තෙන් මම සදාකාලික අබ්බගාතයෙක්. ජීවිතයේ කවදාවත් තනියම හිට ගන්න, අඩියක් වත් ඇවිදින්න මට වාසනාවක් නෑ. දැන් අවුරුදු නවයක් මම මරණ දණ්ඩනය නියම වුණු හිරකාරයෙක් හැටියට මේ ෂෙල් එකට කොටු වෙලා ජීවත් වෙනවා. හැබැයි මෙහෙම ඉන්නවට වඩා එල්ලලා මරණවා නං ඒක සැපයි...”
”මාව මේ නඩුවට පැටලෙව්වේ වැල්ලවායේ පොලීසිය. ඒක වෙනම කතාවක්. එදා පොලීසිය සාධාරණව ක්‍රියා කළා නං මට මෙහෙම විඳවන්න වෙන්නේ නෑ. අනිත් පැත්තෙන් මට නඩුවට පෙනී ඉන්න හැටියක් තිබුණෙත් නෑ. මේ අපේ මුළු පවුලෙන්ම පළිගන්න අටවපු කෝන්තරයක් බව අපි පසුව දැන ගත්තා..”
ජයලත් බණ්ඩාරට තවක් කීමට බොහෝ දේ ඇති බැව් පෙනිණ. එහෙත් කතාව අවසන් කළ යුතුය.
”දැන් මගේ වයස අවුරුදු 33 යි. ඒත් මේ මරණ දණ්ඩනය නියම වුණු අනිත් අයට වඩා මම වෙනස්. මාත් එක්කම මරණ දණ්ඩනයට නියම වෙලා මේ ෂෙල් එකේ ඉන්න යාළුවෝ නැතුව මට බොන්න වතුර ටිකක් වත් ගන්න විදිහක් නෑ. කෑම ටික ගෙනත් දෙන්නේ – ඉඳුල් පිඟාන හෝදලා තියන්නේ - වෙන එකක් තියා මම වැසිකිළියට පවා යන්නේ ඒ අය ගේ අත් උදව්වෙන්. සමහර වෙලාවට මළ මුත්‍ර ඒ අයගේ ඇඟ පතෙත් ගෑවෙනවා. නමුත් මේ මිනිස්සු මට මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න උදවු කරනවා. කොටින්ම කිව්වොත් නිදා ගන්න බිමට වැටෙන්නත් – බිමට වැටිලා නිදිය ගෙන පහු වෙනිදාට නැඟිට ගන්නත් මට කාගේ හරි අත් වාරුවක් ඕනේමයි. එල්ලලා මරණවනං මීට වඩා හොඳයි කිව්වේ ඒ නිසයි... (ඔහු කතාව නතර කොට විනාඩියක් පමණ නිහඬව සිටියේය.)
”... මැරෙන එකත් ප්‍රශ්නයක්... එල්ලලා මරණවා නං එල්ලුම්ගහට යන්න වෙන්නෙත් තව දෙන්නෙක් ගේ කරේ එල්ලිලා... ඒකත් මදි නේ... බෙල්ලට තොණ්ඩුව දාලා එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙනකං ඒ අයට මාව උත්සගෙන ඉන්නත් වෙනවා. මොකද මට තනියම කෙළින් හිටගෙන ඉන්න බැරි නිසා... කොටින්ම මට තව කාගේ හරි උදව්වක් නැතිව එල්ලුම්ගහටවත් යන්න බෑ...”
එසේ කී ජයලත් බණ්ඩාර සිනාසුණේය. ඒ සිනහව අමුතුය. මම තිගැස්සී ගියෙමි. ගතේ හිරිගඩු පිපෙන තරමට මා තිගැස්සුණේ ඇයි? ඊටත් ජයලත් සිනාසුණේ කාටද?
ජයලත් ගේ සහෝදරියක් වැල්ලවාය ප්‍රදේශයේ ජීවත් වෙන බව අසන්නට ලැබිණ. මම ඇයට කතා කළෙමි.
”ජයලත් ගේ පිංතූරයක් හොයා ගන්න පුළුවන්ද?”
”පුංචිම කාලේ ගත්ත පිංතූරයක් විතරයි තියෙන්නේ. මල්ලී කවදා හරි දවසක ගෙදර එනතුරු මතක් වෙන්න තියෙන්නේ එච්චරයි...”


 

1 comment:

  1. This is a feature article of a Death Row inmate in Bogambara Prison.The Prison Inmate Jayalath Bandara was a minor at the time of the crime and latter he was met with an accident and disabled.
    But the High Court as well as the Appeal Courts deliver the Death Sentence to Jayalath in absences of Courts: Pl read the English version for for the full story.

    ReplyDelete